Monday, July 23, 2018

      සැබෑ මිතුරන්  

අද කාලයේ තරුණ තරුණියන් මුහුණු පොත මඟින් මිතුරන් දහස් ගණන් ඇති කර ගන්නවා. සමහරුන් ඇහැට දැකලාවත් නැති මිතුරන්. පාසලේදී, රැකියා ස්ථානයේදී අපිට ඕනෑ තරම් මිතුරන් හමු වෙනවා. නමට මිතුරන් දහස් ගණනක් සිටියත්, ඒ අතර සැබෑ මිතුරෙකු නැති නම් ඇත්තටම පලක් නැහැ. ජිවිතයට එක් කල්‍යාණ මිතුරෙකු හෝ සිටීම වැදගත් වෙනවා. ඉතින් අද ඔබට කියා දෙන්නේ ඔබේ දිවියට නොගැලපෙන මිතුරන් හඳුනා ගන්නා ආකාරයයි.

අදාළ රූපය

වාසියට ඇසුරු කරන මිතුරන් එපා

කෙනෙක් ඔබව ඇසුරු කරන්නේ වාසියටද කියලා එක සැරේ තේරුම් ගන්න අමාරුයි. ඒක තේරෙන්න ටික දවසක් යනවා. ඔබේ උදව් දිගටම බලාපොරොත්තු වෙන මිතුරෙකු, ඔබට ඒ උදව්ව කිරීම අතපසු වන මොහොතක හැසිරෙන විදිහෙන් ඔබට ඔහු වාසියට ඔබව ඇසුරු කරන මිතුරෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔබේ අපහසුතාවයකදී ඔහු මඟ හැර යනවා නම්, ඔහු ඔබව වාසියට පමණක් ඇසුරු කරන මිතුරෙකු වෙන්න ඉඩ තියෙනවා.

හැමදේටම ඔව් කියන මිතුරන් එපා

ඔබේ හිත ගන්න හැමදේටම හිස වනන මිතුරන් ඉන්නවා. ඔබේ ජිවිතයේ තීරණයක් ගද්දි ඔබ අදහස් ලබා ගන්නේ මිතුරන්ගෙන්. ඒත් සමහර මිතුරන් ඔවුන්ගේ සැබෑ අදහස ඉදිරිපත් කරන්නේ නැතුව, ඔබ කැමති දෙයම අනුමත කරනවා.
උදා : ඔබ එක් ඇඳුමක් අඳින්න කැමතියි. නමුත් ඔබට ඒ ඇඳුම කැතයි කියලා ඔබට දැනෙනවා. ඔබේ මිතුරාටත් ඒ බව පෙනෙනවා. නමුත් ඔහු ඔබට කියනවා ඒ ඇඳුම හොඳයි, අඳින්න කියලා.
ඒ වගේ මිතුරන්ට ඕනේ ඔබේ හොඳ හිත ලබාගෙන මිතුරුකම ආරක්ෂා කර ගැනීම මිස, ඔබට සැබෑ මිතුරෙකු වීම නෙවෙයි. මේ වගේ මිතුරන් ඔබේ හොඳ සහ නරක දෙකටම හිස වනනවා.

නැති තැන වැරදි කියන මිතුරන් එපා

මේ වගේ මිතුරන් භයානකයි. ඔබව ලඟින්ම ආශ්‍රය කරලා, ඔබේ හැමදේම දැනගෙන පිට මිනිස්සු එක්ක ඔබේ වැරදි කියා කියා බනින මිතුරන් සුලභයි. ඉතින් මේ වගේ මිතුරන් අඳුර ගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඔබත් එක්ක අනුන්ගේ වැරදි නිතරම කියන, අනුන්ව විවේචනය කරන මිතුරන්ව විශ්වාස කරන්න ඉක්මන් වෙන්න එපා. මොකද ඔබ එක්ක අනුන්ව විවේචනය කරන කෙනාට, අනුන් එක්ක ඔබව විවේචනය කරන එක සුළු දෙයක්.

ඔබව රූකඩයක් කර ගැනීමට උත්සාහ දරණ මිතුරන් එපා

සමහර මිතුරන් ඉන්නවා ඔවුන් මිතුදම රැක ගන්නේ ඔබ ඔවුන් කියන දේ කරනවා නම් පමණයි. මිතුදම වෙනුවෙන් ඔබට ඔබ අකමැති දේවල් කිරීමට සිදු වෙනවා නම් ඒ මිතුදමෙන් පලක් නැහැ. ඔබේ මිතුරන්ගේ කැමැත්ත අනුව ඔබේ ඇඳුම් පැළඳුම්, කතා බහ, හැසිරීම, කෑම බීම වෙනස් කර ගැනීමට ඔබට සිදුවුණා නම් ඔබ ඔවුන්ගේ රූකඩයක් වී ඇති බව ඔබට වටහා ගන්න පුළුවන්. ඔබ අකමැති තැන් වලට ඔවුන් නිසා යෑමට සිදු වෙනවා නම් එය එතරම් හොඳ දෙයක් නෙවෙයි.

වචනෙට පමණක් සීමා වෙන යාළුකම් එපා

ඔබේ ගැටලුවකදී “කරගෙන යන්න. අපිත් උදව් කරන්නම්, අපිත් ඔයාව බලන්නම්.” කියන යාළුවො ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඇත්තටම ඔවුන් ක්‍රියාවෙන් ඔබ සමඟ එක් වන්නේ නැහැ. මේ වගේ ලක්ෂණ දැක්කම ඔවුන්ගෙන් ටිකක් ඈත් වෙන එක තමයි සුදුසු.

මිතුරුකම කියන්නේ ලඟින් රැඳෙන එක නෙවෙයි

සැබෑ මිතුරෙක් නිතරම ලඟින් සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. නිතරම කෝල් කරලා, එස්.එම්.එස් කරලා හොයලා බලන එක නෙවෙයි යාළු කම කියන්නේ. ඔබේ සැබෑ අවශ්‍යතාවයේදී පිහිටට එන එක තමයි සැබෑ මිතුදම කියන්නේ. අද ගොඩාක් දෙනෙක් මේ දෙක පටලවාගෙනයි ඉන්නේ. බොහෝ අය හිතන්නේ නිතරම මුණ ගැසෙන, ලඟින් ඉන්න අය තමයි සැබෑ මිතුරෝ කියලා.

ප්‍රතිපත්තිගරුක නොවන මිතුරන්

ඔබේ මිතුරන්ගේ ප්‍රතිපත්ති ගැන අවධානයෙන් සිටින්න. නිතර අදහස් වෙනස් වෙන, චංචල ප්‍රතිපත්ති ඇති මිතුරන්ගෙන් ඔබ ටිකක් පරිස්සම් විය යුතුයි. ඔබට යමක් කිරීමට උපදෙස් දී, ඔහු එයට විරුද්ධ දෙයක් කරනවාද යන්න ගැන සැලකිලිමත් වෙන්න.


1 comment: